Sunday 19 June 2011

නීල් කියන්නෙ කවුද?

නීල් කියන්නෙ මට. හැබැයි ඒ මගේ නියම නම නෙවෙයි.

මම සමලිංගිකයෙක්. ඔබ මාව වරදවා වටහා ගන්න එපා. මම මේක කරන්නේ සමලිංගික සම්බන්ධතා හොයන්නවත්, "අධිරාජ්‍යවාදී" මත පතුරවන්නත් නෙවෙයි. සමලිංගිකත්වය මගේ ජීවිතයේ එක පැතිකඩක් පමණයි; නමුත් මේ බ්ලොග් එක හරහා මම බලාපොරොත්තු වෙනවා, සමලිංගිකත්වය ගැන ඔබ දැනුවත් කරන්න.

අපේ සමාජයේ බොහෝ දෙනෙක් සමලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලා නිවැරදිව දන්නේ නැහැ. එහෙම නොදැන, කරුණු සොයා බලන්නෙත් නැතුව, "මේක අපේ සංස්කෘතියට පටහැනියි", "මේක පවක්" කියලා සමලිංගිකත්වය එක හෙළාම පිළිකුල් කරනවා. මේ තත්වය වෙනස් විය යුතුයි. මම ඔබට සමලිංගිකත්වය පිළිගන්න කියා බල කරන්න යන්නේ නැහැ. ඔබ ඒ ගැන සාධාරණ තීරණයක් ගන්න. නමුත් ඔබ තීන්දුවකට එලඹෙන්න කලින්, විවෘතව මේ කාරණයේ දෙපැත්තම සොයා බලන්න. සමලිංගිකයෙක් වශයෙන්, මගේ ලිංගිකත්වය ගැන ඔබට ඇත්ත පෙන්වා දීම මගේ වගකීමක් බවයි මට හැ‍ඟෙන්නේ.

මම ඔබ වගේම සාමාන්‍යය ශ්‍රී ලාංකිකයෙක්. මම සිංහල බෞද්ධයෙක්. මම මගේ ජාතියට සහ ආගමට ගරු කරන, ඒ වගේම අනෙක් ජාති, ආගම් වලටත් ගරු කරන මනුශ්‍යයෙක්. මගේ මනස විකෘති මනසක් නොවෙයි. සමාජයේ හැම දෙනාටම සාමකාමීව හා ගෞරවාන්විතව ජීවත් වෙන්න පුළුවන් වන දවසක් වෙනුවෙන් මම, මට හැකි පමණින් දායක වෙනවා. මේ බ්ලොග් එක එහි තවත් එක පියවරක් පමණයි.

ඉදිරියේදී මම මේ ගැන වැඩි වශයෙන් ලියන්න බලාපොරොත්තු වෙනවා. මම ඉතා විවෘත කෙනෙක්. ඔබට උවමනා නම් මාත් සමඟ මේ ගැන සුහදව සංවාද කරන්න පුළුවන්, ඒත් නිකරුණේ මට චෝදනා කරන අදහසින් ලියන අය ගැන මම වැඩිපුර ගණන් ගන්න යන්නේ නැහැ. ඔබ මේ බ්ලොග් එකේ ලියනවා නම්, කරුණාකර (ඔබ ඔවුන් සමඟ එකඟ වුණත්, නොවුණත්) අන් අයගේ අදහස් වලට ගරු කරන්න. සුහද වන්න.

මගේ බ්ලොග් එක කියවන්න ආවාට ස්තූතියි! :)

-නීල්.
විද්‍යුත් තැපෑල (ඊ-මේල්):  neil.wistor@gmail.com